සෞඛ්‍ය සායනය

මව්පියන් ළමා මනෝවිද්‍යාව ඉගෙන ගැනීමේ වැදගත්කම…

වර්තමාන පවුල තුළ පවතින අධිවේගී ජීවන රටාව නිසා දරුවාගේ අධ්‍යාපනය, රැකවරණය, ආරක්ෂාව හා ආදරය පිළිබඳ විවිධතා අපට දක්නට ලැබෙනවා. මෙහිදී බොහෝ මවුපියන් රැකියාවට යෑම දරුවාගේ රැකවරණය වෙනත් අයෙකු වෙත පැවරීම ආදී හේතු නිසා දරුවන්ගේ බුද්ධි සංවර්ධනය පිළිබඳ ගැටලූ මතුවී තිබෙනවා. බොහෝ දරුවන්ට කුඩා අවධියේ ලබාගත යුතු අත්දැකීම් හා ඉගෙනුම් පරිසරය අහිමි වී ඇත්තේ මවුපියන්ගේ කාර්යබහුලත්වය නිසයි. එබැවින් දරුවන් හදාවඩා ගන්නා රැකියාවට යන මවුපියන්ට මනෝවිද්‍යාත්මක උපදේශන හා ඒ සඳහා ඇතුළත් කරුණු දැන සිටීම වැදගත්,

එදා අප මවුපියන් අප හදා වඩා ගත්තේ මනෝ විද්‍යාව හැදෑරිමෙන් නොවේ. නමුත් එදා අපේ අම්මා දරුවාගේ විවිධ හැසිරීම් රටා නිරීක්ෂණය කරමින්, අධ්‍යාපනය ලබාදීම ඉවෙන් මෙන් දැන සිටියා. පවුල් ඒකකය ඉතා විශාල වූ නිසා දරුවන් හදාවඩා ගැනීම පිළිබඳ විශාල ගැටලුවක් නොවුණත්, අම්මා දරුවන් හා ස්වාමියා වෙනුවෙන් කැපවී සිටි අතර ඇය නිරන්තරයෙන් කාලය ගත කළේ දරුවන් සමඟයි. ඇයගේ එකම බලාපොරොත්තුව හා ප්‍රාර්ථනාව වූයේ තම දරුවන් නිසි මගට යොමු කර ගැනීමයි. ඉතිහාසයේ මහා ප්‍රාඥයන්, විද්‍යාඥයන්, ජාතික වීරයන් බිහි වූයේ ඔවුන්ගේ මවුපියන් ලබා දුන් ඒ උතුම් කැපවීම නිසයි.

මනෝවිද්‍යාවේ වැදගත්කම…

එදා අපේ මවට තිබූ දැනුමෙන් කොටසක් වත් අද දරුවන් හදන මවුපියන්ට නැහැ. එයට එක් හේතුවක් වන්නේ එය බොහෝ පවුල් ඒකක කුඩා වීමයි. මොවුන් බොහෝ දෙනෙකු තනිව ජීවත් වීම නිසයි. දරුවාගේ විවිධ කාණ්ඩවලදී ලැබිය යුතු බුද්ධි සංවර්ධනය කෙබඳු වේද යන්න, ඒ අනුව දරුවා නිසි මඟකට යොමු කර ගැනීමටත් මනෝවිද්‍යා උපදේශන මහා පිටුවහලක් වනු ඇත. ඒ සඳහා පහත සඳහන් කරුණු කෙරෙහි දැඩි සැලකිල්ලක් යොමු කරන්න.

  • දරුවාගේ විවිධ බුද්ධි සංවර්ධන අවධි වලදී දරුවා ගේ විවිධ ක්‍රියාකාරකම් අවබෝධ කරගැනීම.
  • වෙනස් වන චර්යා රටාවන් ට ගැලපෙන වටපිටාවක් සකස් කර ගැනීම.
  • සවන් දීම, කථනය, ලිවීම, කියවීම ආදි චතුර්විධ භාෂා කුසලතා සංවර්ධනය කිරීම.
  • දරුවාගේ ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලියේ ප්‍රබලතා හා දුබලතා අවබෝධ කරගැනීම.
  • දරුවාගේ කායික, මානසික හා චිත්තවේගී වර්ධනය පිළිබඳ අවබෝධ කරගැනීම.
  • දරුවන්ගේ විවිධ සංවර්ධන අවධි වලදී ඇතිවන ගැටලු හඳුනා ගැනීම හා ඒ සඳහා නිසි මඟ පෙන්වීම් ලබා ගැනීමත් හා පියවර ගැනීම.

මේ ආකාරයට දරුවාගේ විවිධ හැකියාවන් වර්ධනය කර සංවර්ධනය කර ගැනීමට මෙන්ම වර්තමාන කාලයට ගැළපෙන අයුරින් දරුවන් හදාවඩා ගැනීමට ළමා මනෝවිද්‍යාව දැන සිටීම ඉතාමත් කාලෝචිතයි. දරුවාට කායික, මානසික, දුබලතා ඇති වූ විට එය දෛවයට හෝ කාලයට බාර දී සිටි යුගය අවසන් කොට ලෝකයට රටට වැඩදායී පුරවැසියකු බිහි කර ගැනීමට මවුපියන් සතු කාර්යභාරය අති මහත්ය.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close