සෞඛ්‍ය සායනය

ගැබ් ගැනීමට නිසි වයසක් තිබේද ?

ශ්‍රී ලංකාවේ නීතියට අනුව  කාන්තාවකට විවාහ වීමට අවසර ලබා දී ඇත්තේ වයස අවුරැදු 18 සම්පූර්ණ වූ පසුවය.නමුත් ඔබ දන්නවාද මවක් වීම සඳහාත් සුදුසු වයස් සීමාවක් තිබෙන බව.එම වයස් සීමාව ලෙස සැලකෙන්නේ අවුරුදු 20 න් පසුව කාලය වන අතර වයස අවුරුදු 35 ක් ගත වන විට පවුල සම්පූර්ණ කරගත හැකි නම් එයත් ඉතා වටිනවා.

වයස අවුරුදු 10 සිට 19 දක්වා කාලසීමාව අප හඳුන්වන්නේ නව යොවුන්විය ලෙසයි.ඒ කියන්නේ ඔවුන් තවම සම්පූර්ණයෙන්ම වැඩිහිටියකු  ලෙසට සැලකෙන්නේ නැහැ.

අවුරුදු 20ක් වන තුරු යොවුන් දරුවෙකුගේ ශරීරය මෙන්ම මනසද මවක් වීමට සූදානම් වී නැහැ. දරුවෙකුට පුළුවන්ද තවත් දරුවෙකු හදාවඩා ගන්න? මේ වයස කැප කල යුත්තේ අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කර ගැනීමට විනා පවුල් ජීවිත ගත කිරීමට නොවේ.

ශ්‍රී ලංකාව තුල සිදුකර ඇති සමීක්ෂණවලට අනුව අඩු වයස් ගැබ් ගැනීම් වලට පහත සදහන් කරුණු හේතුවී ඇතැයි සොයාගෙන තිබෙනවා.

1.ලිංගික හැසිරීම් පිළිබඳව හරි හැටි නොදැනීම.

2.නීතිමය තත්වයන් පිළිබදව නොදන්නා කම.

3.සෞඛ්‍ය සේවා සායන ආයතන පිළිබඳ නොදන්නා කම .

අඩු වයසකින් ගැහැණු  දරුවකුට කිසියම් හේතුවක් නිසා විවාහ ජීවිතයට ඇතුළත් වීමට සිදුවුවහොත්, විවාහයට පෙර ලිංගික සබඳතාවයක් ඇති වුවහොත් හෝ ලිංගික අතවරයකට ලක්වුවහොත්, ඇය ගැබ් ගැනීමට ඉඩ තිබෙනවා. මෙවැනි අඩු වයස් ගැබ් ගැනීම් වලක්වා ගැනීම සදහා ඉතාමත් විශ්වාසවන්ත පවුල් සැලසුම් ක්‍රම සුලබ ව තිබෙනවා. තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙවැනි සේවාවන් මෙන්ම අවශ්‍ය නිවැරැදි උපදෙස්ද ඉතා රහසිගතව නොමිලේ ලබා ගන්න පුළුවන්.

අපි බලමු අඩු වයස් ගැබ් ගැනීමක් නිසා ඇතිවන සංකූලතා හා බිහිවන දරුවාටද ඇතිවිය හැකි ගැටළු මොනවද කියලා?

1. මවගේ සහ දරුවාගේ පෝෂණ ගැටලු.

2. ගබ්සාවක් සිදු කර ගැනීමට ඇති ඉඩ කඩ වැඩිවීම.

3. නියමිත කාලයට (සති 40 ට)පෙර දරුවා බිහි වීමට ඇති ප්‍රවණතාවය.

4. බිහිවන දරුවා වර්ධනය අඩු දරුවකු වීම.

5. ගර්භණීය සමයේ අධිරුධිර පීඩනය වැළඳීමේ අවදානම වැඩි වීම.

6. දරු ප්‍රසූතියේදී ඇතිවන වේදනාවන් විඳ දරා ගැනීමේ අපහසුතාවය.

7. දරු ප්‍රසුතියෙන් පසු මානසික රෝග වලට ගොදුරු වීමේ හැකියාව වැඩි වීම.

8. දරුවාට මවුකිරි දීමේ ගැටලු ඇතිවීම.

9. අනාගතයේ දී ගැබ්ගෙල පිළිකා වැළඳීමේ අවදානම වැඩි වීම.

නීරෝගී ඉදිරි පරපුරක් බිහිකරන්නට නම් මෙවැනි අඩු වයස් ගැබ් ගැනීම වලක්වා ගැනීමට උත්සාහ කරමු.

වෛද්‍ය සමන්තිකා විජේසුන්දර.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
බොරලැස්ගමුව.
Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close