අධ්‍යාපනය

විවාහයට නැකැත් බැලිය යුතුද?

මේ ප‍්‍රශ්ණයට උත්තර දෙන්න කලින් අපි සමාජය කියන්නේ මොකද්ද කියල බලමු. සමාජය කියන්නෙ ජීවියෙක් වගේ දෙයක්. ජීවියෙකුට තම ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන විවිධ අවයව තියෙනවා. සමාජයටත් ඒ වගෙයි. සමාජය පවත්වාගෙන යන්න විවිධ අවයව නැත්නං සංස්ථා තියෙනවා. ආගමික සංස්ථාව,දේශපාලන සංස්ථාව, ආර්ථීක සංස්ථාව, කුල සංස්ථාව,විවාහ සංස්ථාව,අධ්‍යාපන සංස්ථාව ඉන් කීපයක්. මේ හැම සමාජ සංස්ථාවකින්ම සමාජ යහපතට කිසියම් සේවයක් ඉටු කෙරෙනවා.

ශරීරයේ කිසියම් අවයවයක අර්බුදයක් හට ගත්තම අපි කියනව ලෙඩ උනා කියල. ඒ වගේම සමාජ සංස්ථාවක කිසියම් අර්බුදයක් හට ගත්තම සමාජයෙත් අවුල් වියවුල් ඇති වෙනවා. ශරීරය ලෙඩ උනහම අපි බෙහෙත් ගන්නවා. නොයෙකුත් ප‍්‍රතිකාර ක‍්‍රම වලට යනවා. සමාජය කියන ජීවියාත් ඒ වගේම තමයි. සමාජ අර්බුදයක විස නසන්න ඒ ඒ සමාජ සංස්ථාව තනිව හෝ සංස්ථා සියල්ල එකතු වෙලා කටයුතු කරනවා. විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම අනුගමනය කරනවා.

විවාහ සංස්ථාවෙන් සමාජයට මොකද්ද කෙරෙන්නෙ?

අතීතයේ විවාහ සංස්ථාවෙන් සමාජ පැවැත්මට අවශ්‍ය සමාජිකයන් බිහි කර ගැනීම මෙහි ප‍්‍රධානතම අරමුණ වුණා. එදා පැවති කෘෂි ආර්ථීක ක‍්‍රමයට මිනිස් ශ‍්‍රමය අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තිබුණා. පරම්පරාව පවත්වගෙන යාම, දේපල රැක ගැනීම තවත් අරමුණු වුණා. තම පුතාට හෝ දියණියට නිසි වයසේදී සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක සොයාදීම දෙමාපියන්ගේ වගකීමක්ද වෙනවා.

මේ කාර්යය ඉටු කිරීමේදී කුලගොත, පරම්පරාව වැනි දේවල් වල ගැලපීම සොයා ගැනීම යම් තරමකට පහසු වුවත් දරුපල තිබේද? දියුණුවක් ඇති වෙයිද? විවාහය පවත්වාගෙන යා හැකිද? ආයුෂ කෙහොමද? ආදීවූ ප‍්‍රශ්ණ ගණනාවකට මිනිසුන්ට උත්තර අවශ්‍ය වුනා. ඒවාට උත්තර ලැබුනේ ජ්‍යොතිෂය වැනි ගුප්ත ශාස්ත‍්‍ර වලින්.

මෙම ලිපියේ අරමුණ වෙන්නෙ කිසිසේත්ම ජ්‍යොතිෂය ප්‍රොමෝට් කිරීම නොවෙයි. එසේ වුවත් මිනිසුන්ට කිසියම් ක‍්‍රමවේදයක අවශ්‍යතාවක් තිබුණු අතර ජ්‍යොතිෂයෙන් යම් ප‍්‍රමාණයක සේවයක් එම ප‍්‍රශ්ණ වලට උත්තර සෙවීමේදී ඉටු වුණු බවත් කියන්න ඕනේ. ලෝකයේ තියන විවිධ ආගම් වල ඒවාගේ කර්තෘන් වහන්සේලා විසින් සමාජ යහපතට අවශ්‍ය කරන ඇවතුම් පැවතුම් ගැන කියල දෙනව වගේ ජ්‍යොතිෂයත් සෘෂිවරුන් විසින් ජීවිතය පිළිබඳව කලින් දැන ගැනීමට ඉදිරිපත් කරපු ක‍්‍රමවේදයක්. නමුත් දැන් කාලේ මේ හැම දෙයක්ම ව්‍යාපාර බවට පත් වෙලා. ඒක ජ්‍යොතිෂයේ වරදක් නොවෙයි. රෝග නිවාරණයට ගන්න බෙහෙත් නිසි උපදෙස් වලින් තොරව ගැනීම හෝ ඒවාට වහල් වීමෙන් අපට වෙන්නේ විපතක්. ඒ වගේමයි ජ්‍යොතිෂයත්. ඒකට වහල් උනොත් වෙන්නේ බාධාවක්.

නැකතක් කියන්නෙ හොඳ වෙලාවක් කියන එකයි. ජ්‍යොතිෂයේ මේ හොඳ වෙලාව කියන එක හොයන්න ක‍්‍රමවේදයක් තියෙනවා. දිනය, නැකත, තිථීය,යෝගය,කරණය කියන කරුණු පහ නැතිනම් පඤ්චාංගය පරීක්ෂා කරලයි නැකතක් හදන්නේ.

ශුභ කටයුතු සදහා අපි සදුදා,බදාදා,බ‍්‍රහස්පතින්දා,සිකුරාදා වැනි ශුභ දවස් යොදා ගන්නවා. ශුභ දිනයෙන් ආයුෂ වැඩි වෙනවා කියල විශ්වාසයක් තියෙනවා.ජ්‍යොතිෂයට අනුව නැකැත් 27 ක් තිබෙන අතර පුද්ගලයෙකුට ඔහු උපන් වෙලාවෙ චන්ද්‍රයා හිටපු රාශිය සහ අංශක කලා ගණන අනුව නැකතක් හිමි වන අතර ඒ ඒ දිනයටත් නැකතක් හිමි වෙනවා. පුද්ගලයාගේ නැකතට දිනයට අදාල නැකත ගැලපෙනවද කියල බලන්නත් ඕනෙ. ශුභ නැකතකින් පවු දුරුවෙනවා. ශුභ තිථීයෙන් ශ‍්‍රියාව ඇති වන බවත් ශුභ යෝගයෙන් නිරෝගී බවත් ශුභ කරණයෙන් අදාල කාර්යය සිදුවීමත් වන බව ජ්‍යොතිෂයේ පිළිගැනීමයි.

මේ කාරණා පහට අනුව ශුභ පඤ්චාංගයක් තියන දවසක් සොයා ගැනීම මුලිම කල යුතුයි. මේ සදහා අදාල අවුරුද්දේ පඤ්චාංග ලිතත් අවශ්‍ය වෙනවා. දිනය තෝරා ගැනීමෙන් පස්සේ ශුභ හෝරාවක් හොයා ගන්න ඕනෙ. ඒ හෝරාවෙත් ශුභ පංචම, ශුභ සූක්ෂම වේලාවන් ගණනය කරන්න ඕනෙ. එහෙම ශුභ වෙලාව නැතිනම් ශුභ නැකතට අදාලව කේන්දරයක් හදල ඒ වෙලාවෙ ග‍්‍රහයන් පිහිටල තියෙන්නෙ කොහොමද කියල බලන්නත් ඕනේ. සමහර වෙලාවල් වලට ඒ මොහොතේ ග‍්‍රහයන්ගේ පිහිටීම අශුභ වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඒ වෙලාවට උදාවන රාශිය (ලග්නය* පුද්ගලයාට අශුභ වෙන්න පුළුවන්. එතකොට අළුතින් ශුභ පඤ්චාංගය තියන දිනයක් හොයල ශුභ හෝරා පංචම සූක්ෂම හොයන්න ඕනෙ. නැකතක ශුභ අශුභ බව බලන්න තව ක‍්‍රම ගණනාවක් තියෙනවා. මේ ක‍්‍රියාපටිපාටිය දිහා බැලුවහම එහි කිසියම් පිළිගත් ක‍්‍රමවේදයක් තියෙන බව පෙනෙනවා.

කෙහොම උනත් නැකතකට වැඩකිරීමේදී සිදු වන්නේ ඇති වන විශ්වාසය මත කිසියම් යහපත් මානසික පරිසරයක් ඇති කිරීමයි.

සරත් මහීපාල
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යයායතනයේ හිටපු ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිලධාරී
ජ්‍යොතීර් විද්‍යා ශිරෝමණී (BA,MA,Dip. In Journalism)

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close